Monday 21 July 2014

කම්කරු ජීවිතය හෙවත් ආබාගේ කතාව



මම ඔහුට ආබා කියා අමතන්නම්. ඔහුත් මමත් සේවය කළේ ලොව පුරා ව්‍යාප්ත ක්ෂණික ආහාර (Fast Food) විකුණන ආපනශාලාවක. සතියක ඇවෑමෙන් පසුගිය දා සේවයට වාර්තා කිරීමට තිබූ මට ඇමතුමක් ලැබුණේ ආබා හදිසි හෘදාබාධයකට ලක්ව මිය ගිය බවත්, එනිසා සේවය කිරීමට පිරිස් නොමැති නිසා හැකිනම් ඉක්මණින් පැමිණෙන ලෙසත්ය. ඉක්මනට පැමිණෙන එක කෙසේ වෙතත් “ආබාගේ මරණය“ ගැන ඇසුණු සැණින් ඇතිවූ කම්පනය වෙනදටත් වඩා විනාඩි කිහිපයක් මාව ප්‍රමාද කළා. දැනටත් මතක් වෙද්දි මාව පුදුමයට පත්කරන්නේ මට පණිවුඩය ලබා දුන් කෙනා විසින් ඒක සන්නිවේදනය කරපු දෘඩ ආකාරයත්, ඔහු මරණය දැනුම්දීමෙන් පසුව මා ලද කම්පනය තුට්ටුවකටවත් මායිම් නොකර දුරකථනය විසන්ධි කිරීමත්ය.
ආබාගේ මරණය ඇසූ සැණින් මාව කම්පනයට පත්කිරීමට කරුණු දෙකක් මූලිකව හේතුවුණා. ඒකෙ මුල්ම හේතුව වුණේ ඔහුගේ මරණයෙන් පස්සේ ඇතිවන ඛේදවාචකය. අනෙක් කාරණය වුණේ ආබාගේ ජීවතයයි මගේ ජීවිතයයි අතර තිබුණු සමානකම් හින්දා මට මං පිළිබදව දැණුනු අවිනිශ්චිතතාවය.

ආබායි මමයි ඇවිල්ලා හිටියේ නොදියුණු යැයි සම්මත රටවල්වලින්. ඔහු අප්‍රිකාවේ රටකින් ඇවිත් දියුණු රටක මූලික දුෂ්කර කාලය අවසන්කරමින් හිටියේ. හරියටම දන්නෙ නැති වුණත් ඔහු ඉහළ අධ්‍යාපනයක් ලැබුවෙක් බව ඔහුගේ ඇසුරේදී මට තේරුණු දෙයක්. විශේෂයෙන්ම තරුණ වියේ අවසන් භාගය ගතකරමින් සිටි ඔහු ෆාස්ට් ෆුඩ් සම්ප්‍රදායේ වැඩවලට වඩා ඉහළ බුද්ධි මට්ටමිකින් යුතු රැකියාවක අත්දැකීම් ලද්දෙක් කියල බැලූ බැල්මටම පෙන්න තිබුණු දෙයක්. මිනිස්සුන්ට කතාකරන මටසිලිටු ආකාරය නිසා ඔහු තමන්වම අපහසුතාවයට පත්වෙන ආකාරය මම අදුරගෙන තිබුණා. ඒ ගතිගුණයම ඔහුගේ අකල්මරණය ඉක්මන්කරන්න ඇති කියන හැගීම ඇතිකරවන්නෙ විශාල කණගාටුවක්.

සාමාන්‍ය කම්කරු වෙලා ඉදලා ආබා වැඩ පරීක්ෂක කෙනෙක් වුනේ ඉතා මෑතකදි. ඒ තනතුරු වලට වෙනම නම් තියෙනවා. සාමාන්‍ය කම්කරු කියන්නේ Crew Member එතකොට වැඩ පරීක්ෂක කියන්නෙ Assistant Manager ( හරි ලස්සන තනතුරු නේද?) මට හිතෙන හැටියට නම් ආබාගේ මරණය ඉක්මන් කළේ මේ උසස්වීම. ඔහු සාමාන්‍ය කණ්ඩායමේ සේවය කරන කොට ඉතා සහයෝගී සම්පන්න, විහිළු තහළු වලින් යුතු , ඕනම අපහසු කර්තව්‍යයක් වුණත් ඉතා පහසුවෙන් අවසන් කරන සුළු කෙනෙක් ලෙසයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. විශේෂයෙන්ම ඔහුගේ උසස්වීම ඉක්මන් වෙන්න මේ ගතිගුණ බලපෑවා. ඒත් මේ ගතිගුණ ඔහුට හොද වැඩපරීක්ෂණ කළමණාකරුවෙක් වෙන්න බලපෑවේ නෑ.

වැඩපරීක්ෂක කෙනෙක් කියන්නෙ ලංකාවේ හොදින් දන්න සුපර්වයිසර් කියන තනතුර වගේ එකක්. ඒ අය තමයි නිශ්චිත පැය ගණනක සේවයට ආපු පිරිස් සිය සේවා කාලය තුළදි උපරිම ආකාරයෙන් තමන්ගේ දායකත්වය ආදාළ සේවා ස්ථානයට ලබාදෙනවද කියන එකට වගකියන්නෙ. මහා පණ්ඩිතමාන කළමණාකරණ න්‍යායවල් ආවත් සෘජු ලෙසටම කායික ශ්‍රමය හා සම්බන්ධ රැකියාවලදි තවමත් මේ අතිශය දියුණු සමාගම් විසින් අනුගමනය කරන්නේ කායික හා මානසික පීඩනය රැගත් දැඩි දරදඩු කළමණාකරණ විධි. ලෝකෙ අංක එකේ ෆාස්ට් ෆුඩ් කම්පැනි එකේ දෙවැනි ශ්‍රේණියේ කළමණාකරුවෙකු වුණු ආබාට මෙතෙක් තමන් ජීවිතයේ පවත්වාගෙන ආ මටසිළුටු, සහයෝගීසම්පන්න, මිත්‍රශීලි ගතිගුණ තවදුරටත් ප්‍රශ්ණයක් වුණා. ඔහුගේ වගකීමට යටත් ඉලක්ක ඉටුනොකිරීම හේතුකොට ගෙන ඔහුට ඉහළ කළමණාකාරීත්වයෙන් එල්ලවුණු බලපෑම වැඩිවුණා. ජන්මයෙන්ම පිහිටි ඔහුගේ විවෘතභාවය නිසා දරාගත නොහැකි මේ පීඩනය ඔහු අන්අයට කීවත්, ඉන් ඔහු දරාගනිමින් සිටි පීඩනය සමනය වන බවක් පෙනුණෙ නැහැ.

පැය 24හි ක්‍රියාත්මක ආපනශාලාවක රාත්‍රී වැඩමුරය අවසන් කළ ආබා ඔහුගේ අවසාන වැඩමුරය ගැන බොහෝ කණගාටුවෙන් සිටි බවයි ඔහු සමග සිටි සගයින් නිරීක්ෂණය කොට තිබෙන්නෙ. ආපනශාලා කළමණාකරුගේ ඉලක්ක සම්පූර්ණකරගත නොහැකි වීමෙන් ඔහුගෙන් දෝෂදර්ශනයට ලක්වීම ආබාට දැඩි කම්පනයක් එක්කර තිබුණා. සිය වැඩමුරය අවසන් කර නිවසට යාමට පෙර කිහිපදෙනෙකුටම මේ බව ඔහු ප්‍රකාශකර තිබුණා. දිනකිහිපයක්ම රාත්‍රී වැඩමුර සිදුකර නිවසට ගොස් සිය දරුවන්ගේ වැඩපළ වලට සහයෝගය දෙන්න තිබූ නිසා ඔහුට ප්‍රමාණාත්මක නින්දක නොලැබෙන්නටත් ඇති. මා දන්නා තරමින් ඔහුගේ බිරිද ද රැකියාවක නිරත හෙයින් දරුවන්ගේ වැඩකටයුතු වල වගකීම් රැසක් ඔහුමත පැටවී තිබුණා.
දින කිහිපකට පසු ලද සැපදායී රාත්‍රී නින්ද ආබාට සදාකාලික නින්දක් වුණා. තමන් හා දුෂ්කර ගමන් හා සිය බිරිද සහ ළමුන් ගේ ජීවිත නෑ හිතවතුන් කිසිවෙකු නොමැති ආගන්තුක රටක තනිවීම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඒත් ඔහුගේ ළමුන් හුරුවී ඇති සංස්කෘතියත්, සිය මව්රට තුළ කිසිදු ස්ථාවරත්වයක් නොවීමත් ආබාගේ බිරිද තීරණයක් ගැනීමේ දුෂ්කරතාවයක හිරකරනු නොඅනුමානයි.

මගේ වැඩමුරය වෙත කම්පනයෙන් යුතුව ගිය මා බලාපොරොත්තු වූයේ කිසියම් ආකාරයක ශෝකජනක වටපිටාවක්. පිරිස දහයක්, පහලොවක් එක්ව රැකියාව සිදුකරන ස්ථානයක වසර ගණනාවක් සේවය කළ අයෙකුගේ වියෝව එතැන ශෝකයක් ඉපිදවීමට ඉඩකඩ සලස්වා තිබුණේ නැහැ. සිය දුෂ්කර ජීවිතයෙන් ගොඩඒම සදහා සේවය ලබාදුන් ස්ථානයේ ආබාගේ හිස්තැන පිරවීමට දැනටමත් අයදුම්පත් කැදවා අවසන් බවත් අසන්නට ලැබුණා.

ආබාගේ මරණයට ස්වභාවික, ජීවවිද්‍යාත්මක කරුණු කෙතරම් බලපෑවත් එය තීව්ර කිරීම සදහා ඔහු සේවය කළ ස්ථානයෙන් ලද පීඩනය හා නිදිවර්ජිතව සේවය කිරීම අනිවාර්යෙන්ම බලපාන්නට ඇත. ඔහු වසර ගණනාවක්ම එකම තීව්රතාවයකින් මෙකී ලෝකප්‍රකට ෆාස්ට් ෆුඩ් සමාගම ‍පොහොසත් කිරීමට සිය මහන්සිය විකුණා තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණේ රජයෙන් නියම කොට ඇති අවම වැටුපත්, අවම සේවක පහසුකම් ප්‍රමාණයකුත් විතරයි. නිදිවර්ජිතව ගතකළ රාත්‍රීන්, සේවක හිගය පියවීම සදහා අතිරික්තව ඔහු සිදුකළ වැඩප්‍රමාණයට කිසිදු මිලක් වටිනාකමක් ලැබී තිබුණේ නැහැ. මේ සියල්ල අතරින් ලෝකෙම උජාරුවෙන් පවසන මනුෂ්‍ය ජීවිතයක් පිළිබදව වන වටිනාකමකට වෙන්කිරීමක් කොහෙන්වත් පෙන්නුම් කරේ නැහැ.

බිලියන ගණනක් ලාභ උපයන සමාගමක් තමන් වෙනුවෙන් ජීවිතය කැපකොට, අවසානයේ ඒ හේතුකොට ගෙන ජීවිතය අහිමිවූ ආබාගේ පවුල වෙත දැක්වූ කාරුණිකත්වය මාව සලිත කළා. ආපනශාලාවේ සේවක දැන්වීම් පුවරුවේ මෙහෙම ලියලා තිබුණා.

“අප අතරින් වියෝවූ ආබාගේ පවුලේ සුභසාධන‍ය වෙනුවෙන් ඔබගේ දායකත්වය ඉතා අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් ඔබට හැකි මුදලක් කාර්යාලයේ ඇති කැටයට දමන්න. ඒ වෙනුවෙන් අප ආයතනයෙන් යූරෝ 100 ක මුදලක් ද ලබා දී ඇත. ඔබේ කාරුණික අවදානයට ස්තූතිවන්ත වෙමු”
මීට,

කළමණාකරු                                                                                                                                                                                                   

සංක්‍රමණිකයින් යනු, වැඩකරන මැෂීන් නොව ලේ මස් ඇති මිනිස්සුය




We asked for workers, We got people instead“ මැක්ස් ෆ්‍රිෂ් විසින් සංක්‍රමණිකයින් පිළිබදව -

පිටරට ජීවිතය ගැන ලංකාවට කියන්නම මේ කොලම ලියන්න ගත්තත් පළවෙනි කොළමෙදිම මාතෘකාවෙන් පිටපනින්න සිද්ධවෙන්නෙ හරියටම මෙහෙ ජීවිතයේ ස්වභාවය ගැන නියම ප්‍රතිනිරූපණයක් ඉදිරිපත් කරමින්. ඒ මග යමින්ම මම මේ වෙලාවේ වඩාත් වැදගත් කියන පැත්තකට කතාව හරවනවා.

පිටරට ඉන්න ලාංකිකයින්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න සංක්‍රමණික ජනතාවට වැදගත් සිදුවීමක් සති දෙකකට ඉස්සෙල්ලා යුරෝපයේ සිද්ධ වුණා. ඇත්තටම අපිට වැදගත් ඒ සිද්ධියට වඩා ඉන් ලැබුණු සංඥාව කිව්වොත් වඩාත් නිවරැදියි. සිද්ධිය තමයි යුරෝපා පාර්ලිමෙන්තුවට අවශ්‍ය සභිකයින් තෝරාගැනීමේ මැතිවරණය. සංඥාව තමයි මේ මැතිවරණයේදි සංක්‍රමණිකයින්ට එරෙහිව පෙනී සිටි දක්ෂිනාංශික පක්ෂ රටවල් 6ක හැර (ස්පාඤ්ඤය, ග්‍රීසිය, ඉතාලිය, පෘතුගාලය, ස්ලොවැකියාව, රොමේනියාව)අන් සියළු රටවල් වලදිම ජයග්‍රහණය කිරීම. යුරෝපා මැතිවරණය තුළ තීරණාත්මක වුණු සංක්‍රමණික ගැටළුව ඇත්තටම යුරෝපා සංගමය තුළ සිද්ධවෙන අභ්‍යන්තර සංක්‍රමණ ගැන වඩාත් ඉලක්කගත වුණත්, සමස්තයක් ලෙස ආසියාවෙන් හෝ වෙන යම් ප්‍රදේශයකින් සංක්‍රමණික වුණු පිරිසට මේ විරෝධය එල්ල නොවෙනවා කියන්න බැහැ. මේ ප්‍රතිවිරෝධයේ ප්‍රතිඵලයක් විදිහට සංක්‍රමණිකයින්ට එරෙහිව පණවන නිතී රීති මමත් ඇතුලුව මේ සියළු සංක්‍රමණිකයින්ට අදාළ වෙනවා.

 ඔස්ට්‍රේලියාවෙදි , දැන් යුරෝපයෙදි සිද්ධ වෙන මේ සංක්‍රමණික විරෝධය මොකද්ද? මේ රටවලින් නැගෙන ප්‍රකාශවල හැටියට වගේම අපේම ඔළුවෙ තියෙන අදහසත් වන්නේ මේ දියණු රටවල් විසින් අපි වගේ දුප්පත් රටවලින් එන පිරිසට ඉන්න දෙන එක “පිනට“ කරමින් ඉන්නවා වගේ දෙයක්. ඇත්තටම දුප්පත් රටක ඉදන් දියුණු රටකට යන කෙනෙකුගේ පුද්ගලික බලාපොරොත්තුව යම් විදිහක වාසනාවන්ත ජීවිතයකට පාරකපාගැනීමක් කියලා හිතුනට, සංක්‍රමණය ස්ථාපිත වෙන්නේ මේ රටවල ආර්ථික සහ බල දේශපාලන අවශ්‍යතාවන්ගේ එක්තරා පියවරක් විදිහට. මේක පැහැදිලි කරගැනීමට මම මහා බ්‍රිතාන්‍ය උදාරහණයකට ගන්නම්.

තමන්ගේ යටත්විජිත ව්‍යාපෘතියෙ තීරණාත්මක අවසානයට පස්සෙ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ඇතිවෙන ශ්‍රම හිගය පියවා ගැනීමයි ඔවුන්ගේ මුල්ම සංක්‍රමණික අවශ්‍යතාවය වෙන්නෙ. ඒ වෙනකොටත් යටත්විජිත වලට අවශ්‍ය නිලධාරී පැලැන්තිය ස්ථාපිත කරලීම සදහා අධ්‍යාපන හා සංස්කෘතික ශික්ෂණය ලබාදීම වෙනුවෙන් අදාළ යටත්විජිත වලින් පිරිස් එංගලන්තය වෙත රැගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබුණා. මේ නිසාම ශ්‍රම අවශ්‍යතා වෙනුවෙන් තවත් විදෙස් පිරිස් රැගෙන ඒමට අවශ්‍ය සමාජ වටපිටාව එංගලන්තය තුළ ස්ථාපිතවය තිබුණා. ජාතියක් ලෙස සුපිරි සමාජ ජීවන රටාවකට හිමිකම් කියූ රටවල වඩාත් වෙහෙසකාරී ශ්‍රම දායකත්වය (Hard Labour) සපයන්නේ සංක්‍රමණිකයන් වීම බ්‍රිතාන්‍යයට විතරක් නෙවෙයි සංක්‍රමණිකයින් මතින් යැපෙන සෑම රටකටම පොදු දෙයක්. යටත්විජිත සමයේදී අප්‍රිකාවට රැගෙන ආ ඉන්දියානුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධය, විශේෂයෙන්ම ඉඩි අමීන් විසින් සිදුකරන ලද පිටුවහල් කිරීම් වල වගකීම බ්‍රිතාන්‍යයට දැරීමට සිදුවුණා. සීතල යුද්ධයෙන් පසුව සොව්යට් සමූහාණ්ඩුවේ ඉරිතලා යාම තවත් තීව්ර කිරීම වෙනුවෙන් එකී රටවලින් සංක්‍රමණිකයින් විශාල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍ය විසින් ක්‍රියා කළා. මීට අමතරව ඇමරිකාව සහ බටහිර විසින් දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමෙහි යෙදුණු රටවලින් “සරණාගතයින්“ ලෙස ජන කොටසක් සියරට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රියාකළේ දේශපාලන උපක්‍රමයක් ලෙස. එක්සත් ජාතීන් ප්‍රමුඛ කොට ගෙන මානව හිමිකම් චෝදනා හරහා මෙම රටවලට අතපෙවීමේ වක්‍ර උපක්‍රමයක් ලෙසයි මෙය ක්‍රියාත්මක වූයේ. අධ්‍යාපනය ඇසුරින් විදේශ විනිමය ගෙන්වා ගැනීමත්, ඒ හරහා ගොඩනැගෙන ආර්ථික පිම්බීමත් මෑතකාලය තුළ ක්‍රියාත්මක වූ ආර්ථිකමය උපායමාර්ගයක්.

රටරටවල් වෙන වෙනම ගෙන සළකා බැලුවත් මේ හා අඩු වැඩි වශයෙන් සමාන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නෙ. එහිදී යටත් විජිත පවත්වාගෙන ගිය රටවල් විසින් එකී රටවලට නිදහස ලබාදීමෙන් අනතුරුවත් නිල නොවන ලෙස අදාළ යටත්විජිත වල ශ්‍රම සූරාකෑමේ නිරතවන ආකාරය දක්නට පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් අනෙකුත් රටවලින් පුහුණු ශ්‍රම හමුදාවක් ආකර්ෂණය කරගනිමින් සුපිරි රාජ්‍යයක් නිර්මාණය කරන්නේ දුප්පත් රටවල සිටින බුද්ධිමතුන් තමන්වෙත දිනාගනිමින්. අධ්‍යාපන ශිෂ්‍යත්ව, විද්වත් ක්ෂේත්‍ර වලින් විදේශිකයින් ආකර්ෂණය කරගැනීම ලංකාවෙත් යහමින් සිද්ධවෙනවා.
වඩාත් වෙහෙසකාරී ක්‍රියාවන් ඉටුකරවා ගැනීම, ලාබ ශ්‍රමය, සුබසාධන විදයම් අඩුකිරීම්, කම්කරු අයිතීන් කප්පාදුව වැනි සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වාසි ලබා ගැනීමට වෙනුවෙන් සිදුකළ වඩාත් ක්‍රමික සැලැස්ම වුණේ යුරෝපා කලාපය තුළ නිදහස් සංසරණ ප්‍රතිපත්තියක් ඇති කිරීමයි. නැගෙනහිර යුරෝපා කලාපය තුළ පැරණි සෝවියට් සංගමයට අයත් රටවල සිටි කම්කරුවන් ආර්ථිකමය වශයෙන් දියුණු කලාපයන්ට සංක්‍රමණය වුණේ ඉන් සාපේක්ෂව වැඩි ආදායමක් උපයාගත හැකි වූ නිසයි. ඒත් මේ සැලසුම අභියෝගයට ලක්වෙන්නෙ අනපේක්ෂිතව සිදුවුණු ආර්ථික කඩාවැටීම නිසයි. මේ තත්ත්වය ගැටළුවක් වෙන්නේ මින් පසුවයි.

සංක්‍රමණිකයින්ගේ ආගමනයත් එක්ක සැබැවින්ම ඒ ඒ රටවල වැඩකරන පංතියෙ ජනතාවට අසාධාරණයක් සිදුවෙමින් පැවතුණා. ඊනියා ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ශ්‍රමයේ මිල තීරණය කරනවා යැයි කිව්වත්, බාහිරින් පැමිණි ශ්‍රමික පිරිසක් නිසා දේශීය ශ්‍රමයට ඇති ඉල්ලුම අඩුවුණා. මේ තත්ත්වය වර්ගවාදය, ජාතිවාදයෙන් ඉස්මතු වූවත්, එය සීමාව ඉක්මවා යෑම නිසා මේ වන විට මෙකී විරෝධය දේශපාලනික ප්‍රකාශවීමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙතෙක් කම්කරු පක්ෂ වලට සිය ඡන්දය ලබාදුන් වැඩකරන ජනතාව සිය ඉල්ලීම් වෙනුවෙන් අන්ත දක්ෂිනාංශික පක්ෂ හා අත්වැල් බැදගැනීමක් සිද්ධවෙන්නෙ.

සැබැවින්ම සිද්ධ වුණේ එක්තරා දේශපාලනික දාම් ඇදීමක ඉත්තන් ලෙස ක්‍රියාකිරීමට සංක්‍රමණිකයින්ට සිද්ධ වීම. ඒත් එය අසාර්ථක වූ තැන එහි වගකීම ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැහැ. වැඩිම ලාභය සොයායන පිරිස මේ මොහොතේ ලාභය පෙන්වන අන්ත දක්ෂිනාංශය වෙතට හැරී ඇති බවකුයි පේන්නෙ. සමස්ත ක්‍රියාවලිය ගැන වැටහීමක් නොමැති ඒ ඒ රටවල දේශීය වැඩකරන ජනතාවත් තමන්ට වෙලා තියෙන අසාධාරණය දකින්නෙ සංක්‍රමණිකයින්ගෙන් සිදුවූවක් ලෙසට. ඒත් ඒ අය හොදින් බැලුවොත් තේරෙනවා මේ ක්‍රියාදාමයට වගකිවයුත්තේ තමන්ගේම පාලකයෝ කියලා. ඒත් එහෙම තත්ත්වයක් මහජනතාවට අවබෝධ කරලන්නට ජනමාධ්‍ය, විද්වතුන් හෝ අනෙකුත් බලපෑම් කණ්ඩායම් ක්‍රියාකරන්නෙ නෑ. මොකද එහෙම වුණොත් මුළු ගේම් එකම පරදින හින්දා. සංක්‍රමණිකයින්ට වෛර කිරීම වගේ පහත් තැනකින් වතුර ගලාබසින්න සැලැස්වීම මේ කාටත් ලේසියි.

මේ සියළු අර්බුද වලට හේතුව “සංක්‍රමණිකයින්“, අපිට සංක්‍රමණිකයින්ගෙන් තොර අතීත ශ්‍රී විභූතියක් තිබුණා, ඒ අතීතය නැවත ලබාදෙන්න“

මේ කතාව ඉතාම සරලව කියවෙන මැක්ස් ෆ්‍රිෂ් ගේ ප්‍රකාශයකුයි මුලින්ම මම උපුටා දක්වලා තියෙන්නෙ. එතැනදි කියවෙන්නෙ සංක්‍රමණිකයින් ලෙස අපි බලාපොරොත්තු වුණේ අපේ වැඩකරවගන්න පිරිසක් මිසක්, හැගීම් දැනීම්, සංස්කෘතියකින් පිරි මනුෂ්‍යයින් පිරිසක් නොවෙයි කියන එකයි. මේ කියලා තියෙන දේයි “වහල්කම“ යි අතරයි තියෙන සමානකම් දැක්කම පුදුම හිතෙනව නේද?
නැවතත් හමුවෙමු!!!!

Athalpitarata@gmail.com


මේ ලිපිපෙළ ගැන




ජීවිතයේ  ළගාකරගත යුතු යමක් ගැන වන හීනයක් අපි හැමෝටම තියෙනවා. ඒක මොනවගේද කියන එක තීරණය කරන්න අපි වටා ඇති පරිසරය, අත්දැකීම්, අධ්‍යාපනය වගේම ප්‍රජානන ශක්‍යතාවය වැනි කාරණා බලපෑම් කරන්න පුළුවන්. ලංකාව වගේ තෙවැනි ලෝකයේ රටක සාමාන්‍ය පුද්ගලයෙකුගේ, විශේෂයෙන් තාරුණ්‍යයේ එක්තරා සිහිනයක් බවට පත්වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාව කියන කොදෙව්වෙන් පිටතට අඩියක් තැබීම. ඒක සිහිනයක් වෙන්නෙ ඒක ඉටුකරගැනීමට අපහසු දෙයක් නිසා. සෑම මනුෂ්‍යයාටම එක සමාන අයිතීන් තිබිය යුතු බවට ඊනියා මානව හිමිකම් වල ප්‍රකාශ කළත් ලෝකයේ දුප්පත් රටක ඉපදීම නිසාම එහි පුරවැසියන්ට ප්‍රවේශවීම අහිමිකරලා තියෙන භෞතික සංවර්ධයේ ප්‍රතිඵල ගැන අමුතුවෙන් සදහන් කළ යුතු නැහැ. අපි ජීවත් වන තෙවැනි ලෝකයේ පුරවැසියන්ට සංවර්ධිත ලෝකයේ රටකට සංක්‍රමණය වීම සිහිනයක් වෙන්නෙ මෙවැනි පසුබිමක් මත.


අද සිට පටන් ගන්න මේ කොළම ලියන මම එහෙම ලංකාවෙන් පිටතට පා තැබුවෙක්. හැබැයි ඒක මගේ සිහිනයක් සැබැවීමද කියන එක මම වෙනමම ලියන්නම්. අදහස වෙන්නෙ විදේශගත ජීවිතය ගැන යම් විවෘත සංවාදයක් ඇති කිරීම.“ විවෘත“ කියලා අදහස් කරේ විදෙස්ගත වෙලා සිටින හැමෝම විසින් පොදුවේ සගවා තබන දෙයක් විවෘත කිරීමක් ලෙසට. ( මං කියන්නේ බහුතරයක් පිරිස) හැබැයි ඒක සවිඥානිකව කරන දේකට වඩා අවිඥානික දෙයක් ලෙසටයි මං දකින්නේ. ඉතිං මේ පිටරටවල් වල ආතල් එකේ හොරෙන් රසවිදින්නේ මොකද්ද කියන එක අපි ටිකක් අවුස්සලා බලමු.

“ආතල් පිටරටක සිට“ කියලා නමක් මට හිතුනෙම පිටරට කියන්නෙ “ආතල්“ කියන හැගීම ලංකාවේ බොහෝම ජනප්‍රිය කාරණයක් නිසා. පිටරටවල් කියන හැමරටක්ම ආතල්. ඒකට ඇමරිකාව, එංගලන්තේ, ප්‍රංශේ, ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි දකුණු කොරියාව, මැලේසියාව, සිංගපූරුව ගැනත් ඇති අදහසේ වෙනසක් නෑ. එතනදි ව්‍යතිරේඛයක්, එහෙමත් නැත්තං මේ ගොඩට අයිතිවෙන්නැත්තේ ලංකාවේ කාන්තාවන් බහුතරයක් රැකියාවලට යන මැදපෙරදිග විතරයි. “ආතල් කොරියාව“ වගේම “මැදපෙරදිග මරුකතර“ වෙන්නෙ ඒකයි. පිරිමි යන රටවල් ආතල් වෙන්නත් ගැහැණු යන රටවල් මරුකතරවල් වෙන්නෙත් අහම්බෙන්ද? එහෙමත් නැත්තං එතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්ද, ඒ කියන්නෙ ලංකාවෙ පිරිමි විසින් ගැහැණුන්ව ඒ රටවලට යවන්නේ ඒවා ආතල් නැති මරුකතරවල් කියලා දන්න නිසාද? නිකං හරි ඒවා ආතල් රටවල් වුණොත් ලංකාවේ ගෘහණියෝ මැදපෙරදිග ගෘහසේවිකාවෝ කරන්න ලංකාවේ පිරිමි ඉඩදෙයිද? අනෙක් අතට ගත්තම පිරිමි යන්නේ මරුකතරවල් නොවන ආතල් යැයි කියන රටවලට විතරද? ඔක්කෝමටත් වඩා මේ රටවල ජීවිතය ඔය කියන තරම් ආතල්ද? වගේ ගොඩාක් කතාබහ ඉදිරියේදී ඇතිවෙන්න නියමිතයි.

අපි ජීවත්වෙලා හැම රටකම ජීවිතයට පොදුවෙ හදුන්වන්න ධනේෂ්වර සමාජ විදිහට. එතකොට මේ කොහේ ගියත් අපිට මේ සමාජ ක්‍රමය මගහැරලා යන්න අවස්ථාවක් හම්බවෙන්නේ නැහැ. හැබැයි ඒ ආර්ථික විද්‍යාවේ සැකැස්ම අනුව අපි එංගලන්තෙදි උපයන හැම පවුමකටම රුපියල් 200කට වඩා වැඩි මුදලක් ලංකාවෙදි ලැබෙනවා, ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 125කට වඩා ලැබෙනවා. එහෙම බැලුවම පිටරටක රැකියාවක් කිරීම හොද වෙන්නෙ නැද්ද? තව දුරටත් ඉදිරියට ගියොත් දියුණු රටවල තිබෙන සුබසාධන පහසුකම් විදින්න ලැබෙන එක සුභදායී දෙයක් වෙන්නෙ නැද්ද? ඒ වගේම මේ සියළු දේවල් ලබාගන්න අපි ගෙවන මිල කොතරම්ද? වගේ කරුණුත් මේ කතාවට ඇතුලත්.

ඒ කොහොම වුණත් මේ කොළම මේ ප්‍රශ්ණ ඔක්කොම දාගත්ත වේළුණු එකක් කරන්න මගේ අදහසක් නැහැ. අපි ජීවිත දිහා වේලිච්ච විදිහට බැලුවට ඇත්තටම අපේ කිසිම ජීවිතයක් වේලිලා නෑ. ඒවා එකිනෙකට සමාන කළ නොහැකි විවිධාකාර සිදුවීම් රාශියකින් සමන්විතයි. ඒවා මගඇරියොතින් තමයි අපේ ජීවිත වේලෙන්නේ. පිටරටවල ජීවිත ආතල්ද කියනවට වඩා මම කියපු “සිද්ධි“ වලින් හරිම පොහොසත් එකක්. ආගන්තුක සංස්කෘති, ජනවර්ග, භාෂා වැනි දේවල් මේ තත්ත්වය තවත් තිව්ර කරනවා. ඉදිරියේදී මේ කොළම එකී මෙකී නොකී සියලු දෑ වලින් පුරවන්නයි හිතාගෙන ඉන්නෙ.

පළමු සටහනේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කොළම ලියන කෙනෙක් ගැන නිශ්චිත නමක් මම සදහන් කරන්නෙ නැහැ. ඒ නිසාම යම් අදහසක් දක්වන්න කැමති ලංකාවේ හෝ පිටරටක ඉන්න කෙනෙකුට තමන්ගේ අදහස සිය නමින්ම හරි අනන්‍යතාවක් රහිතව හරි ලියන්න ඉඩකඩ තිබෙනවා. අනෙක් අතට ආතල් පිටරටක ඉන්න මගේ ආතල් එක වැඩි හින්දම මේ කොලම ලියන්න වෙන්නෙ මාසෙකට එක වතාවක් පමණයි කියලත් දන්වා සිටින්න ඕන. ආතල් පිටරටේදී ලබන මාසෙදි ආයෙත් හමුවෙනකං මම නවතිනවා.

කියන්න තියෙන දෙයක් එවන්න - athalpitarata@gmail.com