Monday 6 October 2014

තවත් සාමාන්‍ය ජීවිතයක් (ද)


පසුගිය වාරෙදි මම සටහන තැබුණු විදෙස් රටවල ශ්‍රී ලාංකිකයින්ගේ කලා භාවිතාව ගැන කතාබහ මම පසුවට කල්තබනවා. ඒ වෙනුවට මෙවර මම ලියන්න යන්නේ මම ජීවත්වන කාර්මීකරණයට ලක්වූ, දියුණු ධනේෂ්වරයක් යැයි  කියන රටේ ජීවත්වෙන පුද්ගලයින්ගේ ජීවිත ගැන මම අත්දැකපු නිරීක්ෂණ සටහනක්. කතාව පැහැදිලි කරගන්න එක් පුද්ගලයෙක් උදාහරණයට ගත්තත්, මේ කියන ලක්ෂණ මම ජීවත්වන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් සදහන් කරන්න ඕන.

අද කතාවට පදනම් කරගන්න කතා නායකයව මම ජෝන් කියලා හදුන්වන්නම්. ජෝන් කියන්නෙ මෙහෙ තියෙන අතිශයින්ම සුලබ, මේ වන විට මැදිවියේ සහ මහළුවියේ පිරිස් අතර සැළිකිය යුතු පිරිසක් දරණ නමක්. කෙසේ වුණත් මට මේ පුද්ගලයව පුද්ගලිකව කිසිම හිංසාවක් හෝ හාස්‍යයයට ලක්කරන්න කිසිම ඕනකමක් නෑ. මට ඕන ඔහු හරහා මිනිස් ජීවිත වල එක්තරා ඉසව්වක් විවෘත කරගන්න.

ජෝන් කියන්නෙ මේ රටේ ඉන්න සාමාන්‍ය පවුලකට අයත්, සාමාන්‍ය ජීවිතයකට හිමිකම් කියන, ප්‍රියමනාප පුද්ගලයෙක්. ඔහු දැනට විශ්‍රාම සුවයෙන් කල්ගෙවන්නෙක්. මම කරන රැකියාව නිසා දිනපතා ඇසුරු කරන්න ලැබෙන නිසා ඔහුගේ ජීවිතයේ තියෙන අපූරු ස්වභාවයන් කිහිපයක් මම නිරීක්ෂනය කරා. නැවත වරක් සදහන් කරන්න ඕන මේ සටහන ඔහුට කරන අවමානයක් නොවන වග. ඔහු බොහෝම හිතවත්, මිත්‍රශීලී සහ සහයෝග සම්පන්න පුද්ගලයෙක්.

ජොන්ගේ ජීවිතේ තියෙන ප්‍රධානතම දේ තමයි ඔහුගේ ජීවිතේ සැලසුම් සහගත වීම. ඉදිරි මාසයේ දවසක් කියලා ඇහුවොත් ඔහු දන්නවා ඔහු එදාට මොකද්ද කරන්නෙ කියලා. නිකං හරි අපි දවසක් කියලා එදාට මොකක්හරි වෙනත් වැඩක් යොදාගන්න පුළුවන්ද කියලා ඔහුගෙන් විමසුවොත් ඔහු එකහෙළාම ඒක ප්‍රතිෂේප කරන සම්භාවීතාවය හරිම ඉහළයි. එතරම්ම ඔහු කාර්යබහුලද?

හැත්තැවියත් පහුකරලා, ජීවිතේ ඉදිරියට අවශ්‍යතරම් ඉතිරුම් පවා තියෙන ජෝන්ගේ ජීවිතේ මෙච්චර කාර්යබහුල කරලා තියෙන්නෙ මොනවගේ දේවල්ද කියන එකයි හරිම රසවත්. ඔහු ජීවිතේ සියල්ලම සැලසුම් කරලා තියෙන්නෙ සතියකට හරියන ආකාරයට. උදාරහරණයකට සදුදා කියන්නේ ඔහු සතිපතා පුවත්පත් සියල්ල කියවන දවස සහ ඔහුගේ සහකාරිය වෙනුවෙන් වෙන්වුණු දවස. අගහරුවාදා කියන්නේ ඔහු මාර්කට් යන දවස, මාර්කට් යනවා කියන්නේ නිකම්ම කඩේ යනවා වගේ වැඩක් නෙවෙයි. ඔහු උදෑසනම නැගිටලා, ගෙදර අවශ්‍ය වැඩකටයුතු කරලා උදෑසන 8 වෙද්දි යනවා ඔහු හැම අගහරුවාදාම උදෑසන ආහාරය ගන්න ටවුමේ කඩේට. එතැන ඉන්න පිරිස දන්නවා මුළු රටම ඒ කඩේ වර්ජනය කළත් අගහරුවාදා උදෑසන 8ට ජෝන් තමන්ගේ උදේ ආහාරයට එතන්ට එන බව. සතියට එක දිනයක් වුණත් අවුරුදු 20 කටත් ආසන්න කාලයක් ඔහුව අදුරන හින්දා ඔහු ඔවුන්ගේ ඉතා වැදගත් ගණුදෙණුකරුවෙක්. උදෑසන ආහාරයත්, එතැන ඉන්න පිරිස සමග කරන කතාබහත් 9.30 වෙද්දි ඔහු ඉවරකරනවා. නිකං හරි ඒ වෙලාව වෙනකොට කතාබහ අතිශයින්ම උච්ඡ ස්ථානයකින් ගමන්කරමින් තිබුණත්, අත්ඔරලෝසුව දිහා බලන ජොන් තමන්ට ඉතාමත්ම වැදගත් වැඩක් තියෙනවා කියලා එතනින් පිටවෙනවා. හැබැයි ඒ ඉතාමත්ම වැදගත් වැඩේ කියන්නෙ තමන් 9.30 ඉදන් යන්න ඕන සාප්පු කීපයකට යාමයි. මිලදී ගන්න දෙයක් නිශ්චිත නොවුණත් ඔහු අගහරුවාදා දිනයෙදි ඒ කාලය ඇතුලෙ මේ කඩසාප්පු කීපයට පසුකර යා යුතුමයි. ඒ අතරතුර ඔහුගේ පැරණි මිතුරන් සමග කතාබහක නිරතවීමත් ඒ කාර්යයේම කොටසක්. මං අසා ඇති හැටියට ඔහුගේ මාර්කට් දවසේ අනෙකුත් කාර්යයන් අතර රේස් ඔට්ටු කිපියක් දැමීම, අගහරුවාදා ලොතරැයිය මිලදී ගැනීම, නිවසට අවශ්‍ය කල්තබාගන්නා ආහාර මිලදී ගැනීම, ටවුමේ වෙළදාම් කරන සිය පැරණි මිතුරෙකු හමුවීම වගේ දේවල් ඇතුලත්. මේ කටයුතු සිද්ධ කිරීම හරිම නිශ්චිත කාලසටහනකට යටත්. ඔහුගේ අගහරුවාදා දවස ඒ තරමටම සැලසුම්. අගහරුවාදා විතරක් නෙවෙයි මුළු සතියම හරියටම සැලසුම්. ඉරිදගෙන් පස්සෙ ආයෙත් සදුදා.

ජොන්ගේ ජීවිතේම සතියකට සැලසුම් කරලා කිව්වොත් නිවරැදියි. ඔහුගේ සහකාරියගේ පාර්ශවයේ අයෙකුගේ මළගම යෙදී තිබුණෙ බදාදා දවසක. එදාට තමයි ඔහුගේ වාහනය සම්බන්ධයෙන් සහ ඔහු සම්බන්ධවී සිටින Community Club එක වෙනුවෙන් වැයකරන දවස. ඉතා මිත්‍රශීලී සහ හිතවත් ජොන් විසින් කිසිම අගතියකින් තොරව ඇයගේ සහකාරියට දන්වලා තියෙන්නෙ තමන් ඉතා කාර්යබහුල හින්දා මේ මළගමට සහභාගීවෙන්න බැහැ යැයි කියලා.

ජොන් අවිවාහකයෙක්. ඒත් ඔහුට සහකාරියෝ (Partner) කිහිප දෙනෙක් ඉදලා තියෙනවා. ( ලංකාවට නීතියෙන් කසාදබදින එක හදුන්වලා දුන්නට, මෙහෙ වැඩිපුර ජනප්‍රිය එකට වාසය කරන  එක Living together ) . ඒ කිසිම කෙනෙක්ගෙන් වත් දරුවෙක් හදාගන්න ඔහු උනන්දු වෙලා නැහැ. ඔහු වෘත්තියෙන් මෝටර් මිකැනික්වරයෙක්. දරුවන් ගැන ඔහුගෙන් ඇහුවම ඔහු කියන්නෙ “ මට වෙලාවක් නෑ දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න, මං බොහෝම කාර්යබහුල කෙනෙක්“ කියලා.

ජොන් කියන්නේ තමන් විසින් හදාගත්ත ප්‍රතිපත්ති වලට හරිම තදින් ඇලුණු කෙනෙක්. ඔහු නීතිවිරෝදී දේවල් වලට හරිම විරුද්ධයි, ඒ වගේම බයයි. කවදාකවත් බොරු කියන කෙනෙක් නෙවෙයි. කියන දෙයක් කරන, කරන දෙයක් කියන කෙනෙක්. ඒ වගේම හරිම ආචාරශීලි කෙනෙක්. හැබැයි ළමයි ගැන ඔහුගේ තියෙන ප්‍රතිපත්තිය වගේම මළගෙවල් පිළිබදවත් ඔහුට තියෙන්නෙ නිශේධනීය අදහසක්. ඔහුගේ සහකාරියගේ නෑයා වගේම ඔහුගේ හිතවත්ම මිතුරෙකුගෙ මළගෙයත් ඔහු විසින් ප්‍රතිෂේප කරේ ඔහුගේ කාර්යබහුලත්ව නිසාමද කියන එක ප්‍රශ්ණයක්. අසල්වැසියන්ගෙන් සහ මිත්‍රයින්ගේ දැඩි විවේචනයට ලක්වුණු මිතුරාගේ මළගම ප්‍රතිෂේප කළේ ඔහුට මළගෙවල් ගැන තියෙන නිශේධනීය අදහස සහ කිසියම් භීතියක් හින්දා කියලයි මට හිතුණේ.

ජොන් කියන්නෙ මම ජීවත්වෙන රටේ සාමාන්‍ය මනුස්සයෙක්. ඔහුගේ චරිතය උදාරහණයකට ගත්තට මෙහෙ ඉන්න බොහෝම සාමාන්‍ය මිනිස්සු අඩුවැඩි වශයෙන් මේ වගේ. හැබැයි ලාංකික අපි ප්‍රසිද්ධ වෙලාවට වැඩ නොකරන, නීතිය කඩකරන, කියන දේ නොකරන සහ නොකරන දේවල් කියන පිරිසක් හැටියට. ඇත්තටම මම ලාංකිකයෙක් වීම ගැන වෙලාවකට ආඩම්බර වෙන්නෙ මේ හින්දා. ලියනගේ අමරකීර්තිගෙ “අර මිහිරි සීනු නාදය“ පොතේ එක්තරා මහාචාර්යවරයෙකුගේ කතාව කියවද්දි මට මතක් උනේ මේ රටේ ජිවිත. අද සටහන අවසන් කරන්නේ රෝහණ පොතුලියද්දගේ  අහස හැඩිවී ඇත කියන කවියෙන්.

ඉරක් ගසා හරි කෙළින් නූලට
ඇද යා යුතුද ඒමතින් ජීවිතය
ඉදිරිය අපැහැදිලි කඟකර මාවතක
සුන්දර ම දේ හමුවණු බැරිද

තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම්
රෑ අහස සුන්දර ද මේ තරම්
ඒ රැය කළ දෙඟ් සුව මතකයන්
අවුල් වූ සිරියහන් මත බලන්

බත් පතෙහි වූ කෙස් ගසක් වුව
පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක
සොඳුරු සැමරුමක් වත් නොතබා ළඟ
ඉවත ලන දේ ඇතිද මිහිමත

කුසලානයක් නොවේ ජීවිතය
දිනුම් කණු පසු කළ විට ලබන
මේ දැන් මෙතැන ඇති මී විතකි
ඔබට මට රස විඟත හැකි

හැර දමා ඇත දොර පියන්
මිතුර නේ එන්න බර අඩි තියන්
කප්පාදු අඩු කතුරු, අඩි කෝදු
සපුරා තහනම්ය, අහිතක් නොම සිතන්
( උපුටා ගැනීම boondi.lk)

1 comment:

  1. මේකට බ්ලොගර් පලෝවරය දැම්මේ නැද්ද

    ReplyDelete