Thursday 7 August 2014

වෙනස් උත්සාහයක් - අගෝරා සිංදු කතා හැන්දෑව


ලංකාවෙන් වෙන රටකට එනකොට කරන්න අපි හැමෝටම සැලසුම් ගොඩාක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මට එහෙම තිබුණු එක සැලසුමක් තමයි මේ වගේ දියුණු රටක තියෙන දියුණු සංස්කෘතික නිර්මාණ රසවිදින එක. පසුගාමී රටක් කියලා කියන ලංකාවෙදි කොළඹ මූලික කරගෙන හරි තියෙන විවිධාකාරයේ කලා නිර්මාණ, රසවින්දනය, සාහිත්‍ය ගැන යම් ආකාරයේ හෝ යොමුවීමක් තිබුණ හින්දා දියුණු රටක දියුණු තත්ත්වයන් යටතේදී ඒක තවත් දියුණු කරගන්න පුළුවන් වෙයි කියලයි මගේ උපකල්පනය වුණේ. ඒත් පහුගිය වසර කිහිපයේදී................ඔව් ඔබේ උපකල්පනය හරි, මං හිතාගෙන හිටපු දේවල් කරනවා තියා අඩුම තරමේ ඔළුව හරි ටිකක් උස්සලා හිටියේ අන්තර්ජාලයට පිංසිද්ධ වෙන්න. එහෙම නොවන කලා වැඩකට කියලා කරේ ෆිල්ම් හෝල් එකකින් ෆිල්ම් එකක් බලපු එකක් සහ කට්ටියක් සෙට් වෙලා සිංදුවක් කියපු එකක් විතරයි.

ඔය අතරේ තමයි එක්තරා විදිහක කලා වැඩක් මගදි මටත් සෙට් වෙන්න අවස්ථාවක් ලැබුණේ. පොඩි විකල්ප විදිහක උත්සාහයක් හින්දා මටත් ආස හිතුණා. විකල්ප කිව්වේ බරපතල දෙයක් නෙවෙයි, ප්‍රධාන ධාරාවෙන් ටිකක් එළියට පැන්න එකක්, පොඩි ආරම්භයක්.

වැඩේ කරේ එංගලන්තේ ඉන්න ලංකාවේ කට්ටියක් හදාගත්ත “අගෝරා“ කියන සංස්කෘතික කවයෙන්. ඒකේ පළමුවැනි උත්සාහය වුණේ සිංදුවක් කියලා ඒක රසවිදින එක. එතකොට මොකද්ද මේකෙ තියෙන විකල්ප විදිහ. ඇත්තටම වැඩේ සිද්දවෙච්ච විදිහ කෙසේ වෙතත් අගෝරා කට්ටිය හිතාගෙන හිටියෙ සිංදු කියන ගමන් තෝරගත්ත සිංදු කිහිපයක් ගැන පොඩි සංවාදයක් ගොඩනගන එක. මේක බොහෝම සරල අදහසක් වුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන එක හරිම අභියෝගයක්. ඒකට ප්‍රධානතම හේතුව එංගලන්තයේ තියෙන සිංහල සෞන්දර්ය වැඩසටහන් අතරට මේ වගේ භාවිතාවක් ගැන පෙර පුරුද්දක් නොවීම.

ලංකාවේ ඉන්න කෙනෙක්ට දැන් ප්‍රශ්ණයක් එයි සිංදුවක් කියලා ඒක ගැන කතා කරන එක විකල්ප වෙන්නේ කොහොමද කියලා. ලංකාවේදි ඒක විකල්ප නොවුණට එංගලන්තයෙදි (මං හිතන හැටියට අනෙකුත් රටවල ශ්‍රී ලාංකික සමාජයන් අතරත් මේ තත්ත්වයේ වැඩි වෙනසක් නැතුව ඇති) ගීතයක් ඇසීම, චිත්‍රපටයක් බැලීම, පොතක් කියවන දෙයක් (පොත් කියවීම නම් හරිම අඩුවෙන්) සිදුකළත් ඒවාගේ රසවින්දනයේ සීමාව ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස්පෙළ තත්ත්වයෙන් ඉදිරියට යන්නේ හරිම අඩුවෙන්.(ව්‍යතිරේකයන්ට යටත්ව) කලාව, රසවින්දනය හෝ වෙනත් සංස්කෘතික කටයුතු ගැන විශේෂයෙන් ගණුදෙනු කරන පිරිස් මේ සමාජය තුළින් ඉහළට මතුවෙලා ඒ අය විසින් හරි, ලංකාවේ ඉන්න මේ ගැන විශේෂඥතාවයක් දක්වන පිරිස් සම්බන්ධ කරගෙන කරන වැඩ තමයි බොහෝ විට දකින්න හම්බවෙන්නෙ. මෙතනදි තමයි අගෝරා වැඩේ විකල්ප වෙන්නෙ. එතනදි තිබුණ අදහස තමයි සමූහයක් වශයෙන් සිංදු කියනවා වගේම හැමෝම එකතු වෙලා තම තමන්ට දැනෙන විදිහට ඒ ගීත තමන් විදපු ආකාරය බෙදාගැනීම.

අගෝරා එකෙන් කරපු උත්සාහය ස්ථානගත වෙන්නෙ කොතනද කියන එක පැහැදිලි කරගන්න මම අන්තර්ජාලයේ පරිණාමය සම්බන්ධයෙන් වන උදාහරණයක් අරගන්නම්.

 වෙබ් 2.0 කියන්නේ එතෙක් සාමාන්‍ය මාධ්‍ය ආකෘතියෙන් තිබුණ අන්තර්ජාලය වෙනස් තත්ත්වයකට පරිවර්තනය වීමට කියන නම. සාම්ප්‍රදායික මාධ්‍ය ආකෘතිය අතික්‍රමණය කරලා අන්තර්ජාලය දියුණු ස්වරූපයක් අත්පත් කරගැනීම. එතෙක් සිද්ධ වුණේ නිශ්චිත ස්ථානයකින් ප්‍රකාශණයක් ඉදිරිපත්කිරීමත්, අන්තර්ජාලය පරිහරණය කරන්නන් විසින් ඒවා කියැවීම, නැරඹීම සිදුකළ සම්ප්‍රදායික තත්ත්වයක්. රූපවාහිනියේ හෝ ගුවන්විදුලියෙදි සිද්ධවෙන්නේ මීට සමාන දෙයක්. ඒත් අන්තර්ජාලය නවමු හැඩයක් ගන්නේ ඒක පරිහරණය කරන ඕනෑම අයෙකු හට ප්‍රතිචාර දැක්වීමට හෝ අලුත් ප්‍රකාශන නිකුත් කිරීමට ඉඩකඩ ලැබීමත් එක්ක. එතකොට ලිඛිතව, රූපමය, වීඩියෝ වැනි කවර හෝ මාධ්‍යකින් යම් ප්‍රකාශනයක් නිකුත් කරන කෙනෙකුට අදාළ ස්ථානයෙදීම ප්‍රතිචාර ලබාදීමේ හැකියාවක් එය පරිහරණය කරන්නාට ලැබෙනවා. මේ තත්ත්වය රූපවාහිනියෙදි හෝ ගුවන්විදුලියෙදි දකින්න නොලැබෙන තත්ත්වයක්. එතෙක් පැවති මාධ්‍ය භාවිතයෙ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී සීමාවේ ප්‍රමාණාත්මක ඉහළ යාමක්. බ්ලෝග් අඩවි, සමාජ ජාල වෙබ් අඩවි, යූ ටියුබ්, ෆ්ලිකර් වැනි භාවිතා කරන්නන්ගේ අන්තර්ගතයන්ගෙන් ගොඩනැගුණු අන්තර්ජාලයක් නිර්මාණයක් වෙන්නේ මේ තත්ත්වයක් ඇතුලෙදි. සම්ප්‍රදායික මාධ්‍යයෙදි ව්‍යාජ ප්‍රතිරූප ගොඩනගාගෙන, එකතැන පල්වුණු තත්ත්වය තවදුරටත් වලංගු නොවෙන්නේ මේ නිසයි. තම තමන්ගේ සීමාකම් ඇතුළේ වුණත් සාහිත්‍ය කලා නිර්මාණ, අදහස් දැක්වීම්, ප්‍රතිචාර දැක්වීම්, ප්‍රවෘත්ති වල නිදහස් සංසරණය වගේ දේවල් වෙබ් 2.0 දී බොහෝම සුලබ දෙයක්. ප්‍රධාන ධාරාවට අසුනොවුණු සියුම් නිර්මාණ, ප්‍රබුද්ධ යැයි කියන විචාරකයින්ට හසුනොවෙන දිශාවන්ට විහිදුණු සාහිත්‍ය, දේශපාලන විචාර අන්තර්ජාලයෙන් පරිහරණය කරන්න ඉඩකඩ ලැබීම අහම්බයක් නෙවෙයි. ඒ ඒ විෂයයන්ගේ විශේෂඥයින්ට විතරක් අදහස් ප්‍රකාශයට පත්කරන්න තිබුණ තත්ත්වය දැන් ඉවරයි. ඔබට යම් දෙයක් ගැන දැනෙන අදහසක් ප්‍රකාශයට පත්කරන්න පත්තරයක කතුවරයෙක්ගේ හරි විද්යුත් මාධ්‍ය ප්‍රධානියෙක්ව තෘප්තිමත් කරන්න හරි අවශ්‍යතාවයක් මතුනොවෙන්නෙ මේ නිසයි.

මේ හැදින්වීම මම කළේ සාහිත්‍ය රසවින්දනය සම්බන්ධයෙන් අගෝරා හි උත්සාහයේ තියෙන විකල්ප හැඩය ඉස්මතු කරගන්න . එදා ගීත ගැන රත්න ශ්‍රී විචාරයක් ඉදිරිපත් කරාට, ඔහු හරි මහාචාර්ය සුනිල් ආරියරත්න හරි ඉදිරිපත් කරන දේ පරම දෙයක් වෙන්න ඕන නැහැ. විශේෂයෙන්ම සංස්කෘතික නිර්මාණ රසවින්දනය ගැන ගත්තොත් ඒවාට නිශ්චිතවම ගොඩනැගුණු හැඩයක් නැහැ. තම තමන්ගේ සීමාකම් අනුව ඒක තීරණය වෙනවා. ඒ කිසිම දෙයක් අනෙක් ඒවාට සාපෙක්ෂව අඩු හෝ වැඩි වශයෙන් ශ්‍රේණිගත කරන එක අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි දෙයක්. සරලවම ගත්තොත් අපි කියන “උසස් රසවින්දනය“ වගේ වචන වල වලංගුතාවය ප්‍රශ්ණ කළ යුතුයි. අපේ රසවින්දනයේ සීමාව පළල් කරගැනීම තවත් එක කාරණයක් වුණත්, ඒක උසස්ද පහත්ද කියන බෙදීමට යටත් එකක් නෙවෙයි. මට අනුව අගෝරා හි වැඩේට පදනම හැදෙන්නෙ ඔතන.

මේක බොහොම් විස්තර සහිතව කරන්න ඕන සංවාදයක්. අද කොටස ඒකට පොඩි උත්සාහයක්. අන්තර්ජාලය එක්ක ගොඩනැගෙන නවමු සමාජය ආකෘතිය ගැන පොඩි සංවාදයක ආරම්භයක්. ඊළග කොටසින් තවත් දීර්ඝව මේ ගැන කතා කරමු. මොනාහරි අදහස් දැක්වීමක් කරන්න ඕන නම් ඊමේල් එක athalpitarata@gmail.com



නැවත හමුවෙමු!!!  

No comments:

Post a Comment